View this site in English

විපක්ෂ නායකවරයා ලෙස (1952-1956)

1951 ජුලි 12 වන දින මුදල් අමාත්‍යවරයා විසින් 1951-52 වර්ෂය සදහා අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එතෙක් වසර 04 ක් තිස්සේ තමන් දරන ලද ‍ෙසෟඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයෙන් හා සභානායක ධුරයෙන් ඉල්ලා අස්වී විරුද්ධ පක්ෂය වෙත පැමිණියේය. 1946 එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේදී තමන්ගේ නායකත්වයෙන් යුතු සිංහල මහා සභාව ඊට එක් වීමෙන් අපේක්ෂා කල පළමු අරමුණ වු සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ ස්ථිර සාර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අපේක්ෂාව ඉටු වුවද එම පක්ෂයට බැදීම හරහා බණ්ඩාරනායක මහතා බලාපො‍රොත්තු වු මහජන සංවර්ධනයේ පරමාර්ථ අත්‍යාර්ථයෙන්ම ව්‍යවර්ථවීම හා ඒ සදහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුල ඉඩ ප්‍රස්ථා හීන වීම මෙම ඉල්ලා අස්වීමට මූලබීජය සැපයීය. ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වු බණ්ඩාරනායක මහතා සමග ඩී.ඒ. රාජපක්ෂ, ඒ.පී. ජයසූරිය, ජයවීර කුරුප්පු, ඩී.ඇස්. ගුණසේකර, ජෝර්ජ් ආර් ද සිල්වා යන මන්ත්‍රීවරුද ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විරුද්ධ පක්ෂය වෙත පැමිණියහ. 1951 දී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වූ බණ්ඩාරනායක මහතා 1951 සැප්තැම්බර් මස 02 වැනි දින “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිපත්තිය කරගත් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කල අතර, එහි සභාපතිවරයා මෙන්ම නායකයා බවටද එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පත්විය. එම පක්ෂයේ ආරම්භක රැස්වීමේදී පක්ෂය හා එහි අරමුණ පැහැදිළි කල බණ්ඩාරනායක මහතා, අභිනව පක්ෂය හා එහි ප්‍රතිපත්ති පිළිබදව මෙසේ ප්‍රකාශ කරන ලදී. “අපේ පක්ෂය සමාජවාදී ප්‍රජාතන්ත්‍රීය පක්ෂයක් බව පළමු කොටම සඳහන් කළ යුතුයි. සියල්ලන්ටම සධාරණ වන අතර, දුගීව සිටින බහුතර මහජනයාට අපගේ රටේ ජාතික ධනයෙන් දියහැකි උපරිම තත්වය සැලසීම අපේ පරමාර්ථය වන හෙයින් එය සමාජවාදී වන්නේය. අප පක්ෂය පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ඒකාධිපති බලය නොඉවසන නියම මහජන පක්ෂයක් වන හෙයින්, එය ප්‍රජාතන්ත්‍රීය වන්නේය. ”

මේ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිකත්වය මත පදනම් වු දේශීයත්වය ගරු කළ අධිරාජ්‍ය විරෝධී හා සමාජ ප්‍රජාත්‍රන්ත්‍රවාදය මුල් කරගත් දේශපාලන ප්‍රවාහයක් ලෙස නිර්මාණය විය. මෙ‍ෙලස 1951 දී බණ්ඩාරනායක මහතාගේ නායකත්වය සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් මාස 07 කට පසු පළමු වරට මහා මැතිවරණයකට මුහුණ දෙනු ලැබීය. හර්තාලය, හාල් සහනාධාර කැපීම වැනි ප්‍රශ්න මත නිර්මාණය වු හදිසි මහා මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුළ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නව දේශපාලන පක්ෂයට නොහැකි වුවද ඡන්ද, 3,61,240 ක් ලබා ආසන 09 ක් හිමිකර ගත හැකිවිය. එම මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා වැඩි ඡන්ද 32,544 ක් ලබා නව මැතිවරණ වාර්තාවක්ද සමගින් නැවතත් අත්තනගල්ල ආසනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එසේම 1952 පැවැති මෙම මහා මැතිවරණයෙන් පසුව බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත්වීය. බණ්ඩාරනායක මහතා 1952 සිට 1956 කාලය තුල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් ක්‍රියා ක‍ෙළ්ය.

1952 පැවැති මහා මැතිවරණය අවසන් වීමත් සමග මහා මැතිවරණය සම්බන්ධ “ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කොමිසමක් පත්කල යුතු බවට” උද්ඝෝෂණ මාලාවක් නිර්මාණය විය. එහි ප්‍රධානතම දේශපාලන රැළිය විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වු අතර, එයට තවත් පක්ෂ නියෝජිතයෝ ගණනාවක් සහාය පල කළ අතර, සහභාගිත්වයද දැක්වීය. මෙම මහජන රැස්වීමෙන් අනතුරුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී විරුද්ධ පක්ෂ නායක බණ්ඩාරනායක මහතා විසින් මැතිවරණ දුෂණ සොයා බැලීම සඳහා කොමිෂන් සභාවක් පත්කළ යුතු බවට යෝජනා කළ අතර, එය පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැණිනි. 1951 - 1952 අයවැය විවාදයට අවසන් මෙ‍ාහොතේ එක්වෙමින් බණ්ඩාරනායක මහතා රටේ ආර්ථිකය ගැන ඉදිරිපත් කල අනාවැකි නිවැරදි බව ඊලඟ වස‍ෙර් අයවැය ලේඛණයෙන් ඔප්පු කල අතර, ඊට එල්ලවන ජනතා විරෝධය කොපමණද යත් අයවැය දිනයේ පාර්ලිමේන්තු ගැලරිය වසා දැමීමට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතා ක්‍රියා කිරීමෙන් පැහැදිලි වේ.

මේ අතර, 1953 අගෝස්තු මාසයේ වාමාංශික පක්ෂ විසින් දියත් කළ “හර්තාල් ව්‍යාපාරය” හේතුවෙන් අතිශය දැවැන්ත දේපල ප්‍රමාණයක් හා ජීවිත ගණනාවක්ද විනාශ විය. එය පාලනය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොවීය. කැබිනට් මණ්ඩලය ”නිව් ෆවුලන්ඩ්” නම් නෞකාවේ රැස්කොට ඇඳිරි නිතීය පැනවීමට රජය ක්‍රියා කළද, ජනතා උද්ඝෝෂණ දින කිහිපයක් යන තුරු පාලනය නොවීය. මේ අනුව ඩී.එස්. සේනානායක මහතා මිය යාමෙන් අනතුරුව රාජ්‍ය නායකත්වයට පත් ඩඩ්ලි සේනානායක මහතා ඉදිරියේ ආගමික හා භාෂා ප්‍රශ්න පමණක් නොව ආර්ථික ප්‍රශ්නද විය. රටේ ජාතික ආදායම අඩු වූ අතර, රබර් ඇතුළු අපනයන ද්‍රව්‍ය වල මිල පහල වැටුණි. මේ සදහා පිළියම් හෝ වැඩ පිළිවෙලක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නොවූ අතර, ඔවුන් ඒ සදහා චීනය සමග රබර් - සහල් ගිවිසුම ඇති කරගනු ලැබීය.

මෙවැනි ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ 1953 සැප්තැම්බර් මස 01 දින විපක්ෂ නායක බණ්ඩාරනායක මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවට හේතු ලෙස, රටේ ප්‍රධාන ප්‍රශ්න විසදීමට ආණ්ඩුව අ‍ෙප‍ාහොසත්වීම, රජය දියත් කල සා අවුරුදු වැඩසටහනේ අසාර්ථකභාවය, මුල්‍ය හා පරිපාලන ක්ෂේත්‍රයේ ආකාර්යක්ෂමතාවය හා දුෂණත්, හාල් සහනාධාර නැති කිරීම නිසා ජනතාව පල කළ විරෝධතාවය නොසලකා හැරීමත්, මැතිවරණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීමත් යන කාරණා බණ්ඩාරනායක මහතා විසින් අවධාරණය කරන ලදී. විශ්වාස භංග යෝජනාව විවාදයට ගැන‍ීමෙන් මාසයකට පසු ඩඩ්ලි සේනානායක මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස්වූ අතර, 1953 ඔක්තෝම්බර් 12 වන දින සර් ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍ය පදවියට පත්විය. කොතලාවල අග්‍රාමාත්‍යවරයා ස්වකීය කටයුතු ආරම්භ කරනු ලැබුයේ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ සිටි ඇමතිවරු 02 ක් එම පදවි වලින් ‍ෙනරපා දමමිනි.

මෙම අවධියේ භාෂා ප්‍රශ්නය පිළිබඳ වාද විවාද නිර්මාණය වූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම දෙවැනි සංවත්සරයේදී එහි නායක බණ්ඩාරනායක මහතා ප්‍රකාශකොට සිටියේ බුද්ධාගමට හා සිංහල භාෂාවට ‍මේ රටේ විශේෂ ස්ථානයක් තිබිය යුතු බවයි. ‍ෙකසේ වෙතත් සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යවරයා 1954 ඔක්තෝම්බර් මාසයේ යාපනයේ කළ සංචාරයකදී තමා බලයේ සිටිනතුරු සිංහල හා දෙමළ භාෂා දෙකටම සම තැන ලබාදෙන බවට සහතික විය. අගමැතිවරයාගේ යාපන කථාව සමග සිංහල භාෂාව පිළිබද අළුත් ආන්දෝලනයක් රටපුරා ඇතිවිය. මේ අතර, 1955 සැප්තැම්බර් 24 දින බණ්ඩාරනායක මහතාගේ නායකත්වය සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සම සමාජ පක්ෂය සමග නිතරඟ ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. 1955 ඔක්තෝම්බර් 19 වන දින ඇන්.ඇම්. පෙරේරා මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස පිළිගැනීමට හැකි ලෙස රාජ සභා ආඥාව සංශෝධනය කළ යුතු බවට යෝජනා කළ විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පිළිගැනීමට හැකි ලෙස සංශෝධනයක් බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. එසේම 1955 දෙසැම්බර් 17 දින සිංහල බස ලංකාවේ රාජ්‍ය භාෂාව වශයෙන් පත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය දෙවන සමුළුවේදී සම්මත කර ගන්නා ලදී. එසේම සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය යන හඬින් කොළඹ නගර සභාවේ පැවැති මහ සභාවට එක්සත් භික්ෂු පෙරමුණ ඉදිරිපත් කල “දස පනත” බණ්ඩාරනායක මහතා විසින් පිළිගත් අතර, තම ඉදිරි ආණ්ඩුවක් මගින් එය ඉටු කරන බවද ප්‍රකාශ කර සිටියේය. මේ අනුව භාෂා ප්‍රශ්නය ඉදිරියට ඒමත් සමග 1956 පමණ වන විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය යන මතය වර්ධනය වෙමින් පැවතිණි. මේ අතර, 1956 පෙබරවාරි 21 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුතුව “මහජන එක්සත් පෙරමුණ” පිහිටුවනු ලැබූ අතර, පාර්ලිමේන්තුව 1956 ‍ෙපබරවාරි 18 දින විසුරුවා හරින ලදුව 1956 මාර්තු 06 වන දින නව මහ මැතිවරණය සදහා නාම යෝජනා භාරගන්නා ලදී. ඊට අනුව, 1956 මහ මැතිවරණය පවත්වන ලද අතර, 1956 අප්‍රේල් 05, 07 හා 10 යන දිනවල පැවැති එම මැතිවරණයෙන් ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා බණ්ඩාරනායක මහතා අත්තනගල්ල ආසනය ජයග්‍රහණය කල අතර, ඔහු ලැබූ වැඩි ඡන්ද ගණන 41,997 කි. විරුද්ධ අපේක්ෂකයාට ලැබුණේ ඡන්ද 3,019කි. ඒ අනුව, 1956 මහමැතිවරණයෙන් ආසන 51 ක් ලබා මහජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කල අතර, 1956 අප්‍රේල් මස 12 වන දින එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා නිදහස් ලංකාවේ සිව්වැනි අග්‍රමාත්‍යවරයා ලෙස තේරී පත්විය.